Followers

Saturday, October 22, 2022

ඉන්දියන් කාරයෝ සහ ශ්‍රී ලන්කන්ස් ඉන් ඕස්ට්‍රේලියා

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලන්කන්ස් ලාට ඉන්දියානුවන් පෙන්න්නට බැරිය. ආදරයට අපි උන්ට කියන්නේ ඉන්දියන් කාරයෝ කියාය.

ඉන්දියන් කාරයෝ කච බච ගගා මොනවදෝ දොඩවන අතර සුද්දෝ නං කිචි බිචි ගගා ලස්සනට ඉංග්‍රීසි කතා කරයි.

ඉන්දියන් මැනේජර් ල නං අරහං ය, සුදු මැනේජර් කෙනෙක් නං ඉතිං බැන්නත් කනට මී පැණි වක්කරනවා වගේලු.

ඉන්දියන් කාරයෝ දිවාලිද මොකක්දෝ මල මගුලකට ලයිට් දාගෙන ඕස්ට්‍රේලියාව කැත කරන අතර ඒ ලයිට් ටිකම ක්‍රිස්මස් එකට සුද්දෝ දාගත්තම ඉතිං 'ස්වීට් අනේ....'

සිඩ්නි වල 'The Ponds' පැත්තේ හිටපු කෙනෙක් දවසක් මට හම්බ උනා, ඌ ළඟදී 'Cherrybrook' කියන පැත්තට ගියා ලු. හේතුව අහුව්වම කිව්වේ මෙහෙම එකක්. "අපෝ Ponds වල ඉන්දියන් කාරයෝ වැඩියි, ගෙදර පිටි පස්සෙත් ඉන්දියන් කාරයෙක්, ඉස්සරහත් ඉන්දියන් කාරයෙක්, දෙපැත්තෙන් ඉන්දියන් කාරයෝ, මම එක විකුණලා Cherrybrook වලට ගියා'

මේ සේරම අල කලන්චි අස්සේ දුම්මල ගහලවත් එලෝ ගන්න බැරි ඉන්දියන් කාරයෙක් සිටී, උගෙන් නං බේරෙන්නම බැරිය, යන යන තැන පස්සෙන් එයි, සුද්ද තරං ලස්සනත් නැත, ඒ තමයි කන්නාඩිය ඉස්සරහට ගියාම ප්රාතීර් භූත වන ඉන්දියන් කාරයා, චීයා!


Saturday, August 28, 2021

අලි ඇත්තු - භද්‍රවතිකා ඇතින්න

අලි ඇත්තු ගැන මේ දවස් වල සැහෙන්න කතා වෙනවා. ඇසල පෙරේහැර කාලෙට කොහොමත් සැහෙන්න කතා වෙනවා.

සතුන් හීල කර ගෙන තම අවශ්‍යතා සඳහා යොදා ගැනීම අද ඊයේ වෙච්ච දෙයක් නෙමේ. සමහර ආසියානු රට වල අලි හීල කර ගැනීම, නැත්තන් ගෘහස්තකරණය (Domestication) චිරාත් කාලයක් තිස්සේ වෙච්ච දෙයක්. අශ්වයින් හීල කරගෙන වැඩ ගත්ත සංස්කෘතීන් වල ජීවත් වෙන මිනිස්සුන්ට අශ්වයින් ගෙන් වැඩ ගැනීම අරුමයක් නොවුනා වගේම අලින්ගෙන් වැඩ ගැනීම ආසියානු රට වල අපිට අරුමයක් නෙමේ. 

බටහිර රට වල සත්ව හිංසනය ගැන කතා කරන අයට අලියන් ගෙන් වැඩ ගැනීම ප්‍රශ්නයක් වෙන්නේ මෙන්න මේ සංස්කෘතීය වෙනස නිසයි.  බටහිරින් එන ඕන කුණු ගොඩක් තමන්ගේ කර ගන්න ලංකාවේ සම'හරක්' මේකේ අග මුල හොයන්නේ නැතිව ගෙඩිය පිටින් ගිලල සමාජ මාද්‍ය තුල පොරවල් වෙන්න දඟලන බව පේනවා. මැක් ඩොනල්ඩ් එකෙන් චිකන් බර්ගර් කන ගමන් අලි ගැන කිඹුල් කඳුළු හෙලනවා.

හුදු බුදු දහම පමණක් ගත්තොත් එයට පෙරහැරවල් අවශ්‍ය නොවන බව සතයක්, පෙරහැර විතරක් නෙමේ තව දුරටත් යනවනං තමන්ගේ රස්සාවල්, ගෙවල් දොරවලුත් වැඩක් නැහැ. නමුත් පෙරේහැර කියන්නේ හුදු ආගමික කටයුත්තක් නෙමේ, එහි සංකෘතික වටිනාකමක් තියෙනවා, එය රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනය උදෙසා කරන කර්තව්‍යක්.

බුදුන් මේ කාරණාව වෙන් කර ගත්ත විදිහ ගැන හොඳ උදාහරණයක් 'භද්‍රවතිකා ඇතින්න' කතාවේ එනවා. භද්‍රවතිකා ඇතින්න තරුණ කාලේ රජු විසින් වැඩ ගෙන මහලු වූ පසු කිසිදු උවටනක් නොලබපු ඇතින්නක්. 

බුදුන් මේ බව දැක උදේනි රජ මාලිගාවට වැඩ මෙසේ වදාරන ලදී.

"මහරජ, තමනට උදවු කළ අයට ශක්තිමත් කාලයේ දී සත්කාර සම්මාන කොට, උන් මහළු වූ කලැ එය පැහැර ගැන්ම නො වටී. ඔබ හැම කළගුණ දන්නවුන්, කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කරන්නවුන් විය යුතු. භද්‍රවතිකා දැන් මහළු ය. ජරා ජීර්ණ ය. අසළ වෙනෙහි වැටකේ ආදී නීරස නිරෝජස්ක දෑ කමින් අනාථ වැ කල් ගෙවයි. මහළු වූ ඇය අනාථ වන්නට ඉඩ හැරීම ඔබට නො වටී. පෙර සේ ම ඇයට සත්කාර කරන්න"

රජු තමාගේ වරද පිලි ගෙන භද්‍රවතිකා ඇතින්නට සත්කාර කලා කියල සඳහන් වෙනවා.

බුදුන් මෙතනදී අලි ඇතුන් හීල කර ගෙන වැඩට, යුද්දෙට නොගන්න යැයි දේශනා නොකළ සේක. 

ඒ වගේම අසදෘශ්‍ය මහා දාන දීමේදී අලි ඇතුන් සහභාගී කරවාගෙන ඇත

ලංකාවේ අලි සමග බැඳිච්ච සන්කෘතියක් තියෙනවා, අලි භාෂාව ප්‍රගුණ කල අය, අලි මන්ත්‍ර ප්‍රගුණ කල අය ලංකාවේ හිටියා තාමත් ඉන්නවා. (අලි මන්තර ඇත්තද කියල හොයන එක මේ මාතෘකාවට අදාල නැහැ). අලි බලාගන්න අයට ඒ විෂය ගැන හොඳ දැනුමක් තිබ්බ. 

අලින්ට යම් හිරිහැරයක් වෙනවා නං ඒ ගැන ක්‍රියා කිරීම ගැන විවාදයක් නැහැ, නමුත් අලින්ට දං වැල් දාන එක ගැන බුකියේ වැලපෙන අය ගෙන් අහන්න තියෙන්නේ බල්ලෝ වගේ පටියකින් බැඳගෙන ගියාම හරිද කියලා?

මේ සියල්ලට පිටුපසින් තියෙන්නේ තමන්ගේ වහල් මානසිකත්වය, කරුණක් හොයා බැලීමකින් තොරව ගිල ගැනීම. හීනමානයෙන් පිරිච්ච තමන්ගේ දේවල් ගැන අවතක්සේරුවෙන් හිතන අයට මේ වගේ ලණු කවන්න ඉතා පහසුයි.

Friday, April 30, 2021

සිත්තරාගේ සාම්ප්‍රදායික නොවන ආදරය - නිසඳැස්





මේ කතාව මට යාලුවෙකුගෙන් අහන්න ලැබුණු එකක්. 
කෙනෙක් හිටිය රූප අඹමින් ජීවිකාව කරගෙන යන, ඔහු හොද කලා කාරයෙක්, අපූරු හැකියාවක් තිබුණු කෙනෙක්. ඔහුගේ නිර්මාණ ගොඩක් ගෙවල් අලංකාර කලා. මගේ යාළුවා ඇසුරු කරන්න බොහොම ප්‍රිය කෙනෙක්. ඔහු ටිකක් වෙනස් කෙනෙක් කියල තේරිලා තියෙන්න ඇති.
අවිවාහකව හිටපු මොහු අබි සරු ලියන් ඇසුරු කරන්න පුරුදු වෙලා හිටිය. එහෙම ආශ්‍රය කරන්න ලැබිච්ච එක අබි සරු ලියක් ගැන මොහුට යම් ආදරයක් උපන්නා. ඔහු ගෙනාපු යෝජනාවට ඇයත් කැමති උනා. ඔවුන් විවාහ උණු අතර, බොහොම ආදරයෙන් කාලය ගත කලා කියල තමයි දැන ගන්න ලැබුනේ.

ඒ කතාව ඇහුණාම මගේ හිතේ ඇදුනු කතාව මේ,

උන්මාද නෙත් අතරේ ඔහු ආදරය දකින්න ඇති, උණුසුමින් ගත දව්වුවත් ඈ හදවත නිවාලන්න ඇති. ශරීරය විකුණුවත් ඇය හදවත කාටවත් විකුනන්න නැතුව ඇති කියල මේ කතා නායකයා හිතනවා. සියලු සමාජ සම්මුති වලට එරෙහිව අගේ අත ගන්න තරම් ඒ දේවල් ප්‍රභල වෙන්න ඇති. අනිත් පෙම්වතුන් වගේ ඔවුන් මල් පිපුණු දෙවැටක හමු උනේ නෑ, පෙම් උයන් වල ප්‍රේම කරන්න අවස්ථාව නැහැ, නමුත් දුකක් නැහැ, තව කල්පයක් ඉතිරිව තියෙනවා ඔවුන්ගේ ප්‍රේමයට.

උන්මාද නෙත් තුල තිබූ  
ඒ ස්නේහයයි මා හද තෙමූ
උණුසුමෙන් ගත දවාලු
සිසිලසින් හද නිවාලූ

නොවිකුනුනු ඔබේ හද දිනා
ආදරෙන් සිතුවම් කලා
සාර දම් සළු පිලි උනා 
ප්‍රේම ගීතය ලියවුනා

හමු නොවුනි මල් පිපුණු දෙවැටක 
නොකීවෙමි පෙම් වදන් උයනක
කල්පයක් ඉතිරි ඇත නුඹෙයි මාගෙයි පෙමට
නොකී පෙම් වදන් ගැන ඉතින් දුක් වී කුමට


Wednesday, May 27, 2020

කතන්දර එපා, වැඳපන් අම්මාට

මේ දවස් වල බලන (අහන) අපේ සින්දු වැඩසටහන නිසා "පොඩ්ඩියේ" සින්දුව අහන්න පුළුවන් උනා.


යන්තං ඇහිලා තිබ්බට එච්චර උනන්දුවෙන් අහපු නැති එක ගැන පොඩි ලැජ්ජාවකුත් තියෙනවා. එච්චරට හිතට වැදිච්ච තේරුමක් සහ වදන් පෙළක්. මේක ලියපු කෙනා සිංදුවකට කියල හිතාගෙන නොලියපු නිසා, කාව්යමය බවක් තියෙන්නේ. මෙන්න වචන ටික.
===
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..
තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..
සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..
දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..
මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා..
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..
සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..
ගායනය : සාදර බණ්ඩාර
පද රචනය : ටිම්රාන් කීර්ති
=======
මේකේ තියෙන "තනේ කඩා විසිකර පත්තිනි වේ නම්" සහ "නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්" වාක්යය නිසා පතිනි දෙවියන් ගේ කතාව කියවන්න හිතුන. සැකෙවින් මෙහෙමයි. (උපුටා ගන්නා ලදී)
=======
කාවේරි පට්ටනමේ ධනවත් වෙඳකුට කෝවිලන් හෙවත් ගෝපාලන් නම් පුත්ර්යෙක් සිටියේය. මේ ගෝපාලන් යන්න, ‘පාලඟ’ යයි අපේ කපුරාළලාගේ යාදිනිවල සඳහන් වේ. කෝවිලන්ගේ භාර්යාතව ‘කනකි’ නැමැත්තියකි. මෝ ස්වාමි භක්තියෙන් පිරුණු ඉතා ම ශාන්ත කාන්තාවකි. කලකට පසු කෝවිලන්, කනකී හැර දමා මාතාවි නම් නළඟනකට පෙම් බැඳ ඈ කරා ගියේ ය. ගනිකාව ප්රකයෝගයෙන්, කෝවිලන් ගේ සියලුම ධනය තමා කරා ගෙන්නා ගෙන, ඔහු සම්පූර්ණයෙන් දිළිඳු වූ පසු එළවා දැම්මා ය. යා යුතු අතක් නැති කෝවිලන් නැවතත් පැරණි බිරිඳ එනම් කනකී වෙත ආවේ ය. ඕ කිසි වෙනසක් නොදක්වා ඔහු ආදරයෙන් පිළිගත්තී ය. එහෙත් ඔවුන්ට කලින් ගත කළ අලංකාර ජීවිතය ගත කරන්නට දැන් බැරි ය. අසල් වැසියන්ට පෙනි පෙනී දිළිඳු ජීවිතයක් ගෙවන්ට ලජ්ජා වූ කෝවිලන් සිය රට අත් හැර බිරියත් සමග පඬි රටේ මදුරාපුරයට ආයේ ය. ඔවුහු අම්බලමක නැවතුණාහ. ආහාරයක් සපයා ගන්නට මුදල් නො තුබුණු හෙයින් කනකී, ඇගේ පා සළඹ ගලවා හිමියාට දී එය විකුණා යමක් ගෙනෙන්නට කීවා. කෝවිලන් සළඹ රැගෙන තරගල් වීදියට ගියේ ය. පඬිරජ බිසොවගේ සළඹක් අළුත් වැඩියා කරන්නට භාර ගෙන සිටි එහි ප්රේධාන තරඟහලුවාගෙන් එය නැති වී තිබුණ ප්රයස්තාවයත් මෙය ය. කෝවිලන් ගෙන ගිය සළඹත් ඊට සමාන වූ හෙයින් තරහලුවා කෝවිලන් අල්ලා ගෙන පඬි රජු කරා ගොස් සළඹ හොරා ගත් තැනැත්තා ලෙස අඳුන්වා දුන්නේ ය. පඬි රජ ද වැඩි වග විභාගයක් නැතිව කෝවිලන් මරන්නට අණ කළේය. වධකයෝ කෝවිලන් උල හිඳුවා මරා දැම්මෝය.
සවස් වන තුරු සැමියාගේ ඊම බලා සිටි කනකී, අන්තිමේදී ඔහු සොයා ගියා. සොර කමට අසු වී රජ අණින් මරනු ලැබූ බව දැන ගත් ඔ ඔහුගේ මළ කඳ කරා ගොස් විලාප කියන්නටත් පඬි රජු කළ අපරාධයට දෙස් තියන්නටත් පටන්ගත්තා. රජුටත් රටටත් සාප කළා. මෙසේ සාප කරමින් - වැළපෙමින් ඒ සෝකයෙන් ම ඕ මළා. ඇගේ සාපය නිසා තරහල් වීදියේ පටන් මුළු පඬි පුර ම ගිනි ගත්තේලු කනකි, ඇගේ වම් පියවුර කඩා ගැසූ බවත් ඉන් පඬි පුර ගිනි ගත් බව ත් කපුරාළලාගේ හෑලි යාදිනීවල සඳහන් වේ. එවක් පටන් මිනිස්සු ඇය දේව ගණයෙහි ලා අදහන්නට වූහ.
පඬි රජුගේ මුණුබුරු කවියකු විසින් ලියන ලද ‘සිලප්පදිකාරම්’ නම් දෙමළ කාව්යජ යේ සඳහන් වන්නේ මේ දේවතාවිය ගේ කථාවයි. ‘පතිනි’ නමින් අදහන්නේ මේ කනකී නම් කාන්තාව යි.

Saturday, September 2, 2017

නග්න සාධුවරුන් දෙදෙනාගේ කතාව


තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කරන ලද "භාරත යෝගී ස්වාමි රාමා" නම් පොත කියවද්දී අපූරු කතාවක් කියවන්න ලැබුන. මේ පොත "living with the himalayan masters" යන පොතේ පරිවර්තනයක්. මෙහි මම යනු, "ස්වාමි රාමා" වන අතර, හිමාල වනයේ ජීවත් වූ යෝගීන්ගේ කතා විශාල ප්‍රමාණයක් මේ පොතේ අඩංගුයි.

කතාව මෙසේයි,

       මගේ ගංගෝත්‍රි ගමනේ දී හිමාල වනයේ ඉතා ඈතින් පිහිටි උත්තර්කාශියේ මම මාසයක් නතර වී සිටියෙමි. මගේ උදැසන සක්මන සඳහා මම එහි සිට සැතපුම් දෙක තුනක් ටේඛලා පැත්තට ගමන් කරමි. ටේඛලාත් මගේ නවාතැනත් අතර ගංගා ඉවුරේ තැනූ කුඩා දැවමය නිවහනක කාමර දෙකක නිරුවත් සාධුවරු දේපොලක් ජීවත් වූහ. ලිවීමට කියවීමට නොදත් මැදි සැට වියෙහි පසුවූ මෙම කනවැන්දුම් පුද්ගලයන්ට ඔවුන් සතුව වතුර සෙම්බුවක් පවා නොවීය.

      අතිශයින් ප්‍රසිද්ධියට පත් මෙම නගන සාධුවරුන් දෙදෙනා ගැන මම මැනවින් දැන සිටියෙමි. මොවුන් ප්‍රසිද්ධියට පත්ව සිටියේ දැනුම හා යෝග ඥානය නිසා නොව ඒ තරම් දැඩි සීතලේ නිරුවතින් ජීවත්වීමේ දක්ෂතාවට ය . ස්වභාවයෙන්ම ඔවුන් වෙත මමතව, තරහ මෙන්ම ඉර්ෂියාවද තිබිණි. ඔවුන් එකිනෙකට අවමන් කර ගත්හ. හොඳින් හිරු පායා තිබුණු දිනෙක ටේඛලා දෙසට ඇවිද යමින් සිටි මට දුර දීම දක්නට ලැබුනේ, ඔවුන් තම තමන්ගේ පිදුරු වියලා ගැනීම සඳහා අව්වේ දමා ඇති ආකාරයයි. පිදුරු වල ඇති තෙතමනය නැති කර ගැනීම සඳහා ඔවුන් විටින් විට මෙසේ කරන බව මම දනිමි. ඔවුන් නිවාස වෙත සමීප වෙමින් සිටි ම දුටුවේ නිරුවත් සාධුවරුන් දෙදෙනා දරුණු ලෙස පොරබදමින් සිටින බව ය.

    "මේ මොකද?" යි අසමින් මම ඊට මැදිහත් වීමි. දෙපසකට වෙමින් එක අයෙකු මෙසේ පැවසීය.

    "එයා මගේ පිදුරු උඩ ඇවිද්දා, එයා හිතන් ඉන්නේ එයා ලෝකේ ඉන්න ලොකුම අභිනිශ්ක්‍රමනික ය කියලයි"

    මේ අත්දැකීම මගේ ජීවිතය පසු බෑමකට ලක් කල අතර මම  අභිනිශ්ක්‍රමණ මාර්ගය විශ්ලේෂණයක යෙදුණෙමි.

==========
ඉහත සඳහන් අය වගේම විශ්මිත යෝගීන් හා ඍෂිවරුන්ගේ ජීවන ප්‍රවුර්ත්ති රැසක් මේ පොතේ අඩංගුයි.

පොත සරසවි පොත් හලෙන් මිලදී ගත හැකියි.

Friday, February 10, 2017

රණවිරු උන්මාදය සහ ගුණමකු කම


               වරක් මා එංගලන්තයේ රැකියාවේ යෙදී සිටින විට යම් දිනයක එරට රණ විරුවන් සිහි කරනු වස් විනාඩි කීපයක නිශ්ශබ්දතතාවයක් පවත්වන්නට යෙදුනා. මේ ගැන කෙටි හැඳින්වීමක් කල කාර්යාල සේවකයෙකු නැගී සිට නිශ්ශබ්දතාවය ආරම්භ  කිරීමෙන් පසු මා ඇතුළුව අන් අයත් මෙයට සහභාගී උනා. තිස් වසරක උද්ධයෙන් බැට කා ඇති ලංකාව සහ එයින් අප මුදවනු සඳහා අපමණ වෙහෙසක් ගත් රණ විරුවන් ගැන යම් හැගීමක් ඇති අයෙක් හැටියට මෙහි අමුත්තක් මට දැනුනේ නැහැ. එරට ජනතාව විසින් කල යුතු දෙයක් හැටියටයි මට මේ දේ දැනුනේ.

                මේ අතර ඊයේ මුහුණු පොතේ ලාංකිකයෙකු විසින් පල කරන්නට ලැබුණු පොස්ට් එකකින් කියවුනේ නාවික රණවිරුවන්ගේ තිරිසන් පැහැරගැනීම් හා කප්පම් ගැනයි, මෙය රණවිරු උන්මාදයෙන් පෙලෙන්නන් විසින් නොකියවිය යුතු බවත් ඔහු පවසා සිටියා. පහතින් ඔහු උපුටා ගත් ලිපිය දක්වා ඇති.

              http://ravaya.lk/?p=159323

               මේ වක්‍රාකාරයෙන් රණවිරුවන්ට පහර ගැසීමක් සහ ඔවුන් අගයන්නන් නිග්ග්‍රහයට ලක් කිරීමක්. නාවික බටයෙකු කල හෝ කරන වැරද්දක් නාවික "රණවිරුවකු" කරන්නක් බවත් රණවිරුවන් අගයන්නන්, එයටම මුවා වී වැරදි කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීමෙන් ඔවුන් රණවිරු උන්මාදයෙන් පෙලෙන්නන් බවටත් ලියුම් කරු විසින් පූර්ව විනිශ්චයකට පැමිණ ඇති සෙයකි. එසේ නොවීනම් හිත මතාම රණවිරුවන්ට පහර ගැසීමට කරන උත්සාහයකි. එසේත් නැත්නම් තමන් අන් අයට වඩා වෙනස් බව පෙන්වීම සඳහා කරන බොළඳ උත්සාහයකි.

               ඔස්ට්‍රලියවේද රණවිරුවන් සැමරීමක් සිදු කෙරේ, ඉහත සඳහන් කල අන්දමේ නිශ්ශබ්දතාවයක් ඔස්ට්‍රලියවේදී සිදු කරන අතරතුර එසේ සිදු කරන්නන් රණවිරු උම්මත්තකයින් බව මෙම ලියුං කරු ඔවුන්ට පවසාවිද? බොහෝ විට සිදු විය හැක්කේ කීකරුව තමනුත් එම නිශ්ශබ්දතවයට සම්මබන්ද වීමයි. ඉන් පසු සිංහලයන් ඉදිරියේ සිංහ වෙස් ගෙන රණවිරුවන්ට කෘතඤ පූර්වකව කටුයුතු කිරීමේ පසුගාමී බව ගැන බණ දේශනා කරයි. 

               මේ අන් කිසිවක් නොව ගුණ මකු බවයි. තුවක්කුවක් අතට දී උඹේ ආරක්ෂාව උඹම බලාගනින් කියා උතුරට යව්වානම් කලිසමේ සුළු දිය යන්නන් වෙනුවෙන් නිර්භීතව තම ජීවිතය නොතකා සටන් කළවුන් උදෙසා යමක් කිරීම රණවිරු උන්මාදයද? ඔස්ට්‍රලියානු බටයෝ 1915 ගැලොපිලි ගොස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් සටන් වැදීම අදටත් ඔවුන් සමරයි, ශ්‍රී ලාංකිකයින්?

               හමුදාවෙන් පැන විත් මැර කම් කරන "ආමි සම්පත්ලා" ගැන කොතෙකුත් ලිපි ලියවී ඇතත් ඔවුන්ගේ පරමාර්ථය වූයේ රණවිරුවන්ට පහර ගැසීම නොවන නිසා "ආමි රණවිරු සම්පත්" යයි නොලීමට ඔවුන් වග බලා ගත්තා, රණවිරු උන්මාදයෙන් පෙලෙන්නන් විසින් නොකියවිය යුතු බවට ඔවුන් පාරම් බෑමක් කලා මතකත් නැහැ. එවන් සමාජයට වැඩදායි විවේචන සහ වාර්තා වලට කිසුදු විරොදයක් නැති බවත් කිව යුතුයි.

අපි ගුණමකුවන් නොවීමට වග බල ගනිමු.

Wednesday, December 21, 2016

දැන් වස් කීයද?

වස් අහන්නේ හාමුදුරුවොනේ, ගිහියොත් වස් අහනවද? ඔස්ට්‍රේලියාවේදී එහෙම ගිහියොත් මට මුණ ගැසුණා.

ධර්මයට අනුව යමෙක් උසස් වන්නේ සීලයෙනි. සාමාන්‍යයෙන් භික්‍ෂුවක් තවත් භික්‍ෂුවක් මුණ ගැසුණු විට විමසනු ලබන ප්‍රශ්නය වන්නේ “දැන් වස් කීයද?” යන ප්‍රශ්නයයි. එමගින් අදහස් වන්නේ වැඩිමහල්ලා කවුදැයි සොයාගෙන ගරුසරු දැක්වීමයි. වස් ප්‍රමාණය අඩු භික්‍ෂුව පැවිද්දෙන් බාලය.

දැන් එතකොට ගිහියෝ කොහොමද වස් අහන්නේ?

ඔස්ට්‍රේලියාවේදී මුණ ගැහුන සමහර අයත් කුමක් හෝ පරමාර්ථයක් පෙරදැරි කරගෙන මේ වගේ මැන ගැනීමක් කර ගන්න හදනවා. නමුත් මේක එක ප්‍රශ්නයකින් විසඳා ගන්න පුළුවන් එකක් නොවේ, මේ නිසා ප්‍රශ්න වැලක් අහ්හන වෙනවා. මට සහ මගේ මිතුරන්ට ලැබුණු ප්‍රශ්න පත්‍ර වලින් උපුටා ගන්නා ලද ප්‍රශ්න කීපයක් මේ.

  1. දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල කොච්චර කල් වෙනවද?
  2. Student ද, PR ද?
  3. PR නම් student ඇවිල්ලද PR උනේ?
  4. මොන suburb එකේද ඉන්නේ?
  5. රස්සාව මොකක්ද?
  6. ලංකාවේ කොහෙද?
  7. ලංකාවේ කොළඹ නම්, අම්මයි තාත්තයිත් කොළඹද?
  8. ලංකාවේ ඉස්කෝලේ මොකක්ද?
  9. වාසගම මොකක්ද?
  10. රෙන්ට් එකටද ඉන්නේ ගෙයක් ගත්තද?
  11. Apartment එකක්ද ගෙයක්ද?

මේ ආකාරයෙන් එකී නොකී ප්‍රශ්න වැලකට උත්තර දෙන්න වෙනවා. මේවා අමුතු ප්‍රශ්න වෙන්නේ, අලුතෙන්ම හම්බ උණු ගමන් අහන නිසාත්, ලැබෙන පිලුතුරු අනුව ඉදිරිය තීරණය වන නිසාත්. දැන හැඳින ගෙන යම් කාලයකට පස්සේ මේ කරුණු ගැන කතා කිරීමේ අමුත්තක් මා දකින්නේ නැහැ.

ලංකාවේ ගමකට පිට ගම් කාරයෙක් පැමිණියහොත්, ඔහුගෙන් වත ගොත විමසීමේ සිරිතක් තිබ්බ, මේ එකෙම දිගුවක් කියල කියන්නත් පුළුවන්. නමුත් එතැනදී එහෙම කලේ සාමුහිකත්වය මත පදනම් වෙලා, ගමේම ආරක්ෂාව වෙනුවෙන් වෙන්න පුළුවන්. මේ හතරවන තට්ටුවේ ශෛලියේ ප්‍රශ්න කීරිමනම් එහෙම වෙන්න බැහැ. 

මගේ මිත්‍රයෙක් පන්සල් ගිය වෙලාවක මෙහෙම ප්‍රශ්න කිරීමකට ලක් උනා, ප්‍රශ්න වලින් අපහසුතාවයට පත් වෙලා හිටපු ඔහුට කෝපය ඉහ වහා ගියේ රස්සාව මොකක්ද කියල ඇහුවම, ගත් කටටම "Cleaning" කියල මිත්‍රය කිව්වලු. ප්‍රශ්න කිරීම එතනින් නතර වෙලා. මිත්‍රය process engineer කෙනෙක් හැටියට, soil washing වලට සම්බන්ද කොම්පැනියක වැඩ කරන නිසා, බොරුවක් කියලත් නැහැ, පන්සලේනේ හිටියේ.

මේ බ්ලොග් අයිටම් එක ගැන කිව්වම මගේ කන්තොරුවේම වැඩ කරන මිත්‍රයෙක් තව කතාවක් කිව්වා. ඔහු Quakers Hill කියන ප්‍රදේශයෙන් (suburb) ගෙයක් ගත්තලු, මේක ගැන මිත්‍රයෙක් සමග කතා වෙනකොට, ඒ මිත්‍රයාගේ සගයෙක් (මගේ මිත්‍රය දන්නේ නැති) මේ කතාවට සම්බන්ද වෙලා එක පාරටම අහල තියනවා රේල් පාරෙන් එහාද මෙහාද කියල. මේ අණ්ඩර දෙමළය තේරුනේ නැති මිත්‍රය කල්පනා කෙරුවලු මොන පැත්තේ ඉඳන් බැලුවමද එහා මෙහා වෙන්නේ කියල. පස්සේ බැලුවම මේ suburb එකේ රේල් පාරෙන් එහා එච්චර හොඳ පැත්තක් විදිහට ගණන් ගන්නේ නැහැලු. ඔහුට දැන ගන්න ඕන වෙලා තියෙන්නේ ඉන්නේ හොඳ පැත්තේද නරක පැත්තේද කියල. වෙලාවට හොඳ පැත්තේ හිටපු නිසා, දිගටම ආශ්‍රය කරන්න තීරණය කරලා.

හැමෝම මෙහෙම නැති බවත් කියන්න ඕනේ. නිරීක්ෂණ පමණයි, නිගමනය ඔබට බාරයි. මෙහෙම අත්දැකීමක් තියෙනවනම් දැනුම් දෙන්න.