Followers

Wednesday, November 30, 2016

ළමුන් ජීවිතය කර ගැනීම


"ළමුන් ජීවිතය කර ගැනීම", මේ ටයිටල් එක දැක්කහම ඇයි එහෙම නේමේද කියල තමන්ගෙන්ම අහයි, කියවල බලන්න.

අද සමාජය දෙස බලන විට පෙනී යන දෙයක් තමයි මේ ළමුන් තමන්ගේ එකම 'ජොබ්' එක කර ගත් දෙමව්පියන් පිරිසක් දකින්න ලැබෙන බව. ඔවුන්ගේ අතීතය, වර්තමානය සහ අනාගතය යන තුනම ළමුන් මතම පවතින බව පෙනෙන්නට තිබේ.
අවදි වූ මොහෙතේ පටන් ළමුන්ට කවා ගැනීම, නාවා ගැනීම, පාසල් යැවීම, ගෙදර වැඩ කරවීම, 'ස්පෝර්ට්ස්' වලට ඇදගෙන යාම, මියුසික් වලට ගෙන යාම, පියානෝ පන්ති රැගෙන යාම, ස්විමින් එක්කගෙන යාම, අමතර පන්ති, ඩාන්ස්, දහම් පාසල්, කරාටේ, එලකුෂන්, සිංහල (වෙන රටක නම්) වැනි එකී නොකී සියලුම වැඩ ළමුන් ලවා කරවයි. මේවා කිරීම මගින් තමන් උසස් දෙමව්පියන් වන බව මොවුන්ගේ පිළිගැනීම වන අතර, මෙහෙම නොකරන දෙමව්පියන් තම වගකීම ඉටු නොකරන්නන් ලෙස බැලීමට පුරුදුව සිටී.

මීට අමතරව මොවුන් තමන්ගේ ළමයින්ට සියලු දේ සහ අනර්ග දේ(පමණක්) දීමට පෙළඹේ. මෙයින් වැඩියෙන්ම වාසි ලබන්නෝ කොම්පැනි කාරයින්ය. මේ දෙමව්පියන් තමන්ගේ හොඳ මාර්කට් එකක් කර ගැනීමට මේ කොම්පැනි කාරයන් දනී. බටහිර රටක ළමයෙක් හැදීමේ සම්පූරණ වියදම රුපියල් මිලියන 15 සිට 45 දක්වා වෙතැයි ගණන් බල තිබේ. හැම එකකටම මිලක් දෙන බටහිර රට වල මේ මනිනිනේ තමාගේ බඩු කොහොම විකුණා ගන්න පුළුවන්දැයි දැන ගැනීම පිණිසයි. මේ දෙමව්පියන් ළමයා වෙනුවෙන් වියදම් කරන්නට පෙළඹෙන ගණන මිස ළමයාගේ මිල නොවන බව මතක තබා ගත යුතුයි. තම ළමයි විශේෂ ළමයි ලෙස සිතන සහ එසේ හදන්නට උත්සහ කරන දෙමව්පියන් මේ මාර්කට් එකට විශේෂයෙන් අසු වේ. මේ බව දන්නා කොම්පැනි  කාරයින්ද ළමයින්ට උසස් දේම දීම ගැන අපට බණ දේශනා කරයි. ධනවාදය මූලික කරගත් පරිබෝජන රටාවකට පුරුදු වී ඇති අප තවත් එවැනිම එකෙකු බිහි කරනු දැකීම ඔවුන්ගේ පරම පැතුමයි. ළමයින්ට අප දායාද කරන්නේ මේ පරිබෝජන රටවෙන්ම විනාශ වූ පරිසරයක් බව අපට අමතක වේ.

උදාහරණයක් විදිහට මේ 'ස්පෝර්ට්ස්' වලට ඇදගෙන යාම ගත්තොත්, ක්‍රීඩා කරවීම දෙමව්පියන්ගේ වගකීමක් බවට පරිවර්තනය වී ඇත. තමන් කැමති දෙයක් ඇඳගෙන තමන් කැමති අයත් එක්ක තමන්ගේම නීති වලට ක්‍රීඩා කරනු වෙනුවට, එයටම අදාල වන ඇඳුම්, පාවහන්, බෑග්, පිට්ටනි, පුහුණු කරුවන්, කෑම, ශක්ති ජනක ආහාර යන සියල්ල රැගෙන දෙමව්පියන්ට ළමයින්ව කනෙන් ඇදගෙන යාමට සිදු වී ඇත. ක්‍රීඩාවෙන් උපරිමයට සතුටු වනු වෙනුවට දරුන්ටත්, දෙමව්පියන්ටත් මෙය වදයක් වී ඇත. ස්පෝර්ට්ස් එකට අදාල ඇඳුම නැතිව එයට සහබාගී වීමට මැලිවන දරුවන් අනාගත හොඳ පරිබෝගිකයින් වීමට මග බල සිටී.

ළමයින් වෙනුවෙන්මයි කියමින් මේ කරන දේ, ළමයින් වෙනුවෙන්මද? එක අතකින්  කොම්පැනි කාරයන්ට අසු වී සිටින දෙමව්පියන් අනිත් පසින් තම සිහිනය දරුවන් තුලින් දකිමින් සිටී. බුදුන් වදාල පරිදි සදිසාවෙන් එක් දිශාවක් පමණක් දරුවන් බව මතක තබා ගත යුතුයි. ළමයින්ට තම යුතුකම් ඉටු කරන අතරම එයින් මත් (obsessed) නොවන්නටත් වග බලා ගත යුතුයි.