Followers

Saturday, August 28, 2021

අලි ඇත්තු - භද්‍රවතිකා ඇතින්න

අලි ඇත්තු ගැන මේ දවස් වල සැහෙන්න කතා වෙනවා. ඇසල පෙරේහැර කාලෙට කොහොමත් සැහෙන්න කතා වෙනවා.

සතුන් හීල කර ගෙන තම අවශ්‍යතා සඳහා යොදා ගැනීම අද ඊයේ වෙච්ච දෙයක් නෙමේ. සමහර ආසියානු රට වල අලි හීල කර ගැනීම, නැත්තන් ගෘහස්තකරණය (Domestication) චිරාත් කාලයක් තිස්සේ වෙච්ච දෙයක්. අශ්වයින් හීල කරගෙන වැඩ ගත්ත සංස්කෘතීන් වල ජීවත් වෙන මිනිස්සුන්ට අශ්වයින් ගෙන් වැඩ ගැනීම අරුමයක් නොවුනා වගේම අලින්ගෙන් වැඩ ගැනීම ආසියානු රට වල අපිට අරුමයක් නෙමේ. 

බටහිර රට වල සත්ව හිංසනය ගැන කතා කරන අයට අලියන් ගෙන් වැඩ ගැනීම ප්‍රශ්නයක් වෙන්නේ මෙන්න මේ සංස්කෘතීය වෙනස නිසයි.  බටහිරින් එන ඕන කුණු ගොඩක් තමන්ගේ කර ගන්න ලංකාවේ සම'හරක්' මේකේ අග මුල හොයන්නේ නැතිව ගෙඩිය පිටින් ගිලල සමාජ මාද්‍ය තුල පොරවල් වෙන්න දඟලන බව පේනවා. මැක් ඩොනල්ඩ් එකෙන් චිකන් බර්ගර් කන ගමන් අලි ගැන කිඹුල් කඳුළු හෙලනවා.

හුදු බුදු දහම පමණක් ගත්තොත් එයට පෙරහැරවල් අවශ්‍ය නොවන බව සතයක්, පෙරහැර විතරක් නෙමේ තව දුරටත් යනවනං තමන්ගේ රස්සාවල්, ගෙවල් දොරවලුත් වැඩක් නැහැ. නමුත් පෙරේහැර කියන්නේ හුදු ආගමික කටයුත්තක් නෙමේ, එහි සංකෘතික වටිනාකමක් තියෙනවා, එය රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනය උදෙසා කරන කර්තව්‍යක්.

බුදුන් මේ කාරණාව වෙන් කර ගත්ත විදිහ ගැන හොඳ උදාහරණයක් 'භද්‍රවතිකා ඇතින්න' කතාවේ එනවා. භද්‍රවතිකා ඇතින්න තරුණ කාලේ රජු විසින් වැඩ ගෙන මහලු වූ පසු කිසිදු උවටනක් නොලබපු ඇතින්නක්. 

බුදුන් මේ බව දැක උදේනි රජ මාලිගාවට වැඩ මෙසේ වදාරන ලදී.

"මහරජ, තමනට උදවු කළ අයට ශක්තිමත් කාලයේ දී සත්කාර සම්මාන කොට, උන් මහළු වූ කලැ එය පැහැර ගැන්ම නො වටී. ඔබ හැම කළගුණ දන්නවුන්, කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කරන්නවුන් විය යුතු. භද්‍රවතිකා දැන් මහළු ය. ජරා ජීර්ණ ය. අසළ වෙනෙහි වැටකේ ආදී නීරස නිරෝජස්ක දෑ කමින් අනාථ වැ කල් ගෙවයි. මහළු වූ ඇය අනාථ වන්නට ඉඩ හැරීම ඔබට නො වටී. පෙර සේ ම ඇයට සත්කාර කරන්න"

රජු තමාගේ වරද පිලි ගෙන භද්‍රවතිකා ඇතින්නට සත්කාර කලා කියල සඳහන් වෙනවා.

බුදුන් මෙතනදී අලි ඇතුන් හීල කර ගෙන වැඩට, යුද්දෙට නොගන්න යැයි දේශනා නොකළ සේක. 

ඒ වගේම අසදෘශ්‍ය මහා දාන දීමේදී අලි ඇතුන් සහභාගී කරවාගෙන ඇත

ලංකාවේ අලි සමග බැඳිච්ච සන්කෘතියක් තියෙනවා, අලි භාෂාව ප්‍රගුණ කල අය, අලි මන්ත්‍ර ප්‍රගුණ කල අය ලංකාවේ හිටියා තාමත් ඉන්නවා. (අලි මන්තර ඇත්තද කියල හොයන එක මේ මාතෘකාවට අදාල නැහැ). අලි බලාගන්න අයට ඒ විෂය ගැන හොඳ දැනුමක් තිබ්බ. 

අලින්ට යම් හිරිහැරයක් වෙනවා නං ඒ ගැන ක්‍රියා කිරීම ගැන විවාදයක් නැහැ, නමුත් අලින්ට දං වැල් දාන එක ගැන බුකියේ වැලපෙන අය ගෙන් අහන්න තියෙන්නේ බල්ලෝ වගේ පටියකින් බැඳගෙන ගියාම හරිද කියලා?

මේ සියල්ලට පිටුපසින් තියෙන්නේ තමන්ගේ වහල් මානසිකත්වය, කරුණක් හොයා බැලීමකින් තොරව ගිල ගැනීම. හීනමානයෙන් පිරිච්ච තමන්ගේ දේවල් ගැන අවතක්සේරුවෙන් හිතන අයට මේ වගේ ලණු කවන්න ඉතා පහසුයි.

No comments:

Post a Comment