Followers

Wednesday, December 21, 2016

දැන් වස් කීයද?

වස් අහන්නේ හාමුදුරුවොනේ, ගිහියොත් වස් අහනවද? ඔස්ට්‍රේලියාවේදී එහෙම ගිහියොත් මට මුණ ගැසුණා.

ධර්මයට අනුව යමෙක් උසස් වන්නේ සීලයෙනි. සාමාන්‍යයෙන් භික්‍ෂුවක් තවත් භික්‍ෂුවක් මුණ ගැසුණු විට විමසනු ලබන ප්‍රශ්නය වන්නේ “දැන් වස් කීයද?” යන ප්‍රශ්නයයි. එමගින් අදහස් වන්නේ වැඩිමහල්ලා කවුදැයි සොයාගෙන ගරුසරු දැක්වීමයි. වස් ප්‍රමාණය අඩු භික්‍ෂුව පැවිද්දෙන් බාලය.

දැන් එතකොට ගිහියෝ කොහොමද වස් අහන්නේ?

ඔස්ට්‍රේලියාවේදී මුණ ගැහුන සමහර අයත් කුමක් හෝ පරමාර්ථයක් පෙරදැරි කරගෙන මේ වගේ මැන ගැනීමක් කර ගන්න හදනවා. නමුත් මේක එක ප්‍රශ්නයකින් විසඳා ගන්න පුළුවන් එකක් නොවේ, මේ නිසා ප්‍රශ්න වැලක් අහ්හන වෙනවා. මට සහ මගේ මිතුරන්ට ලැබුණු ප්‍රශ්න පත්‍ර වලින් උපුටා ගන්නා ලද ප්‍රශ්න කීපයක් මේ.

  1. දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල කොච්චර කල් වෙනවද?
  2. Student ද, PR ද?
  3. PR නම් student ඇවිල්ලද PR උනේ?
  4. මොන suburb එකේද ඉන්නේ?
  5. රස්සාව මොකක්ද?
  6. ලංකාවේ කොහෙද?
  7. ලංකාවේ කොළඹ නම්, අම්මයි තාත්තයිත් කොළඹද?
  8. ලංකාවේ ඉස්කෝලේ මොකක්ද?
  9. වාසගම මොකක්ද?
  10. රෙන්ට් එකටද ඉන්නේ ගෙයක් ගත්තද?
  11. Apartment එකක්ද ගෙයක්ද?

මේ ආකාරයෙන් එකී නොකී ප්‍රශ්න වැලකට උත්තර දෙන්න වෙනවා. මේවා අමුතු ප්‍රශ්න වෙන්නේ, අලුතෙන්ම හම්බ උණු ගමන් අහන නිසාත්, ලැබෙන පිලුතුරු අනුව ඉදිරිය තීරණය වන නිසාත්. දැන හැඳින ගෙන යම් කාලයකට පස්සේ මේ කරුණු ගැන කතා කිරීමේ අමුත්තක් මා දකින්නේ නැහැ.

ලංකාවේ ගමකට පිට ගම් කාරයෙක් පැමිණියහොත්, ඔහුගෙන් වත ගොත විමසීමේ සිරිතක් තිබ්බ, මේ එකෙම දිගුවක් කියල කියන්නත් පුළුවන්. නමුත් එතැනදී එහෙම කලේ සාමුහිකත්වය මත පදනම් වෙලා, ගමේම ආරක්ෂාව වෙනුවෙන් වෙන්න පුළුවන්. මේ හතරවන තට්ටුවේ ශෛලියේ ප්‍රශ්න කීරිමනම් එහෙම වෙන්න බැහැ. 

මගේ මිත්‍රයෙක් පන්සල් ගිය වෙලාවක මෙහෙම ප්‍රශ්න කිරීමකට ලක් උනා, ප්‍රශ්න වලින් අපහසුතාවයට පත් වෙලා හිටපු ඔහුට කෝපය ඉහ වහා ගියේ රස්සාව මොකක්ද කියල ඇහුවම, ගත් කටටම "Cleaning" කියල මිත්‍රය කිව්වලු. ප්‍රශ්න කිරීම එතනින් නතර වෙලා. මිත්‍රය process engineer කෙනෙක් හැටියට, soil washing වලට සම්බන්ද කොම්පැනියක වැඩ කරන නිසා, බොරුවක් කියලත් නැහැ, පන්සලේනේ හිටියේ.

මේ බ්ලොග් අයිටම් එක ගැන කිව්වම මගේ කන්තොරුවේම වැඩ කරන මිත්‍රයෙක් තව කතාවක් කිව්වා. ඔහු Quakers Hill කියන ප්‍රදේශයෙන් (suburb) ගෙයක් ගත්තලු, මේක ගැන මිත්‍රයෙක් සමග කතා වෙනකොට, ඒ මිත්‍රයාගේ සගයෙක් (මගේ මිත්‍රය දන්නේ නැති) මේ කතාවට සම්බන්ද වෙලා එක පාරටම අහල තියනවා රේල් පාරෙන් එහාද මෙහාද කියල. මේ අණ්ඩර දෙමළය තේරුනේ නැති මිත්‍රය කල්පනා කෙරුවලු මොන පැත්තේ ඉඳන් බැලුවමද එහා මෙහා වෙන්නේ කියල. පස්සේ බැලුවම මේ suburb එකේ රේල් පාරෙන් එහා එච්චර හොඳ පැත්තක් විදිහට ගණන් ගන්නේ නැහැලු. ඔහුට දැන ගන්න ඕන වෙලා තියෙන්නේ ඉන්නේ හොඳ පැත්තේද නරක පැත්තේද කියල. වෙලාවට හොඳ පැත්තේ හිටපු නිසා, දිගටම ආශ්‍රය කරන්න තීරණය කරලා.

හැමෝම මෙහෙම නැති බවත් කියන්න ඕනේ. නිරීක්ෂණ පමණයි, නිගමනය ඔබට බාරයි. මෙහෙම අත්දැකීමක් තියෙනවනම් දැනුම් දෙන්න.

1 comment: