Followers

Sunday, December 11, 2016

චැරිටි මානසිකත්වය


ලංකාවේ ටිකක් ඇදිල ගිය කෙනෙක් දැක්කහම අහන කතාවක් තමා, ඉතියෝපියාවේ ඉඳලද අවේ කියල. මේකෙන් ඉතියෝපියාව කියන රට ගැන කාගෙත් සිතේ ඇඳිලා තියෙන චිත්‍රය ගැන දල අදසසක් ගන්න පුළුවන්. නමුත් මේක ඇත්තද? ඉතියෝපියාවෙ යම් කරදර කාලයක් තිබුණු බව ඇත්ත උනත් (සිවිල් යුද්දය නිසා), එය ඉතාම සුන්දර රටක් බව, රට ගැන තොරතුරු සොයා බැලීමේදී පෙනී යනවා. ඉතියෝපියාව ලොව ප්‍රදානතම මල් සහ පැළෑටි අපනයන කරන රටක් බව කීවොත් ඔබ විශ්වාස කරාවිද?

ඉතියෝපියාව ගැන මේ කතාව කිව්වේ රටවල් වල ළමයි හදන ලංකාවේ දෙමව්පියන්ට අදාල කතාවක් කියන්න.

දැන් ඉන්න රටට සාපේක්ෂව ලංකාව දෙස බැලීමට හැකියාවක් ඇති දෙමව්පියන් (රටවල් දෙකෙහිම අත්දැකීම් ඇති බැවින්) නිතැතින්ම තම දරුවන්ට ලැබෙන සෙල්ලන් බඩු ආදිය දිහා බලලා ලංකාවේ ජීවත් වන දරුවන් ගැන යම් කරුණාවක්/අනුකම්පාවක් ඇති කර ගන්නවා මේ හේතුවෙන් තමන්ගේ ළමුන්ට ලැබෙන සෙල්ලන් බඩු වලින් යම් ප්‍රමාණයක් ලංකාවේ ළමයින්ට වෙන් කර ගන්නවා. මේ සත් කාරයට තම ළමුන් දායක කර ගැනීමට දෙමව්පියන් උත්සහ කරනවා. අඩු පාඩු වලින් ගහන ලංකාවේ ඉන්න ළමයි පිළිබඳ හොඳ අවබෝදයක් මේ ළමයින්ට අම්මලා තාත්තල හරහා ලැබෙනවා. සමහර ලංකාවේ ළමයින්ට කිසිම සෙල්ලම් බඩුවක් නැති බවත්, ඔවුන්ගේ දෙමව්පියන්ට සෙල්ලම් බඩු අරන් දීමට වත්කමක් නැති බවත් මේ ළමයින්ට තෙරුන් කර දීමට දෙමව්පියන් උත්සහ කරන්නේ ළමයිනුත් මේ සත් ක්‍රියාව සඳහා පොළඹවා ගැනීමටයි. සමහර දෙමව්පියන් ලංකාවේ ළමයින්ට සෙල්ලං බඩු අරන් දීමට කැටයක් එකතු කරන වෙලාවලුත් දකින්න පුළුවන්.

බැලූ බැල්මට මේක ඉතා අගනා, අප විසින් කල යුතු, අප විසින් අපේ දරුවන්ට ඉගැන්විය යුතු දෙයක් වගේ පෙන්නේ.

නමුත් මේ හරහා අපි දරුවාගේ මනසේ ඉතා සියුම් විදිහට ගොඩ නගන ලංකාව මොන වගේ එකක්ද? අඩු පාඩු වලින් ගහන දුප්පත් රටක් නේද? තමන් සහ විශේෂයෙන් තම දෙමව්පියන් පැවත එන ලංකාව තමාගේ අනුකම්පාව බලාපොරත්තු වන බව මේ ළමයින්ගේ හිතේ ඇඳෙනවා. මේ හරහා ලංකාවේ මිනිස්සු ගැන උනත් දරුවට ලැබෙන්නේ යම් පහත තත්වයක්. මේක අපි බලාපොරොත්තු උන තත්වයක්ද?

මේ මානසිකත්වයත් එක්ක ලොකු මහත් වන දරුවන් ලංකාවේ දේවල් කොපමණ අගය කරාවිද? දෙමව්පියන්, ඔවුන්ගේ නෑදෑයෝ, භාෂාව, සංගීතය, සංස්කෘතිය, ආගම ගැන මොන වගේ හැංගීමක් මේ අයගේ හිතේ තියෙනව ඇද්ද? ඒක තෙරුන් ගන්න නැවත මේ පොස්ට් එකේ පළමු පරිච්චේදය කියයවන මෙන් ඉල්ලා සිටිමි.

ලෙබනනයෙන් ඔස්ට්‍රලියාවට සංක්‍රමණය වුනු දෙවැනි පරම්පරාවේ ඔස්ට්‍රලියාවේ ඉපදුනු කෙනෙක් සමග කතාවට වැටුණු වෙලාවක, මම ඔහුගෙන් ඔහු පැවත එන රට පිලිබඳ ඔහුගෙන් විමසා සිටිය, ඔහු ලෙබනනය ඉතාම සශ්‍රීක රටක් බවත්, ලස්සන කඳු පන්ති ඇති බවත් කියා සිටියා, ඉන් නොනැවතුණු ඔහු google maps හරහා එහි ඇති ලස්සන තැන් ගැනත්, ගෘහ නිර්මාණ ශිල්පය ගැනත් මට පෙන්වා දුන්න. ලංකාවේ ළමයෙකුගෙන් මෙවන් පිළිතුරක් බලාපොරුත්තු විය හැකිද?

මෙයින් කියවෙන්නේ ලංකාවට උදව් නොකළ යුතු බව නොවේ, තමන් කරන කියන කටයුතු හරහා දරුවාගේ හිතේ ගොඩ නගන ලංකාව ගැන පරිස්සන් විය යුතු බවයි. නැතිනම් ලොකු මහත් වූ ළමයින් ඔබ සමගම ගනු දෙනු කිරීමේදී ඔබටම එය පාරාවළල්ලක් වේවි.

අපේ මාතෘ භූමිය අපේ ළමයින්ගෙන් බලාපොරුත්තු වන්නේ අනුකම්පාව නොව ආදරයයි.

2 comments:

  1. මේක අයිසොලේඩට් කේස් එකක්.

    ළමයින්ව යවන්න සිංහල සංස්කෘතික හමුව මගින් පවත්වන සිංහල පාසලකට. පොන්ඩ්ස්, පැරමටා, මින්ටෝ, ඩබෝ, නිව් කාසල් හෝ වග වගා.

    සිංහල භාෂාවට අමතරව, සංස්කෘතිය ගැණ කරුණු, ලංකාව ගැන, ඉතිහාසය ගැන ඉගෙන ගන්න පුළුවනි. මහාවංශ කියා ද්විවාර්ෂික ප්‍රදර්ශනයකුත් ළමුන් සංවිධානය කරනවා.

    අනික ළමයින්ව ලංකාවට එක්කාගෙන යන්නේ නැත්ද?

    ReplyDelete
  2. ස්තුතියි රසික comment එකට, මම මෙතන මතු කලේ ළමය ලංකාවට හිතෙන් දෙන තැන ගැන. සිඩ්නි වල හැදිලා වැඩිලා, සිංහල ඉස්කෝලේ ගිය ළමයි කීදෙන්ක් එගොලන්ගේ ළමයි සිංහල පාසල් එවනවද කියන එකෙනුත් මේක ගැන දල අදහසක් ගන්න පුළුවන්.

    ReplyDelete