Followers

Saturday, September 2, 2017

නග්න සාධුවරුන් දෙදෙනාගේ කතාව


තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කරන ලද "භාරත යෝගී ස්වාමි රාමා" නම් පොත කියවද්දී අපූරු කතාවක් කියවන්න ලැබුන. මේ පොත "living with the himalayan masters" යන පොතේ පරිවර්තනයක්. මෙහි මම යනු, "ස්වාමි රාමා" වන අතර, හිමාල වනයේ ජීවත් වූ යෝගීන්ගේ කතා විශාල ප්‍රමාණයක් මේ පොතේ අඩංගුයි.

කතාව මෙසේයි,

       මගේ ගංගෝත්‍රි ගමනේ දී හිමාල වනයේ ඉතා ඈතින් පිහිටි උත්තර්කාශියේ මම මාසයක් නතර වී සිටියෙමි. මගේ උදැසන සක්මන සඳහා මම එහි සිට සැතපුම් දෙක තුනක් ටේඛලා පැත්තට ගමන් කරමි. ටේඛලාත් මගේ නවාතැනත් අතර ගංගා ඉවුරේ තැනූ කුඩා දැවමය නිවහනක කාමර දෙකක නිරුවත් සාධුවරු දේපොලක් ජීවත් වූහ. ලිවීමට කියවීමට නොදත් මැදි සැට වියෙහි පසුවූ මෙම කනවැන්දුම් පුද්ගලයන්ට ඔවුන් සතුව වතුර සෙම්බුවක් පවා නොවීය.

      අතිශයින් ප්‍රසිද්ධියට පත් මෙම නගන සාධුවරුන් දෙදෙනා ගැන මම මැනවින් දැන සිටියෙමි. මොවුන් ප්‍රසිද්ධියට පත්ව සිටියේ දැනුම හා යෝග ඥානය නිසා නොව ඒ තරම් දැඩි සීතලේ නිරුවතින් ජීවත්වීමේ දක්ෂතාවට ය . ස්වභාවයෙන්ම ඔවුන් වෙත මමතව, තරහ මෙන්ම ඉර්ෂියාවද තිබිණි. ඔවුන් එකිනෙකට අවමන් කර ගත්හ. හොඳින් හිරු පායා තිබුණු දිනෙක ටේඛලා දෙසට ඇවිද යමින් සිටි මට දුර දීම දක්නට ලැබුනේ, ඔවුන් තම තමන්ගේ පිදුරු වියලා ගැනීම සඳහා අව්වේ දමා ඇති ආකාරයයි. පිදුරු වල ඇති තෙතමනය නැති කර ගැනීම සඳහා ඔවුන් විටින් විට මෙසේ කරන බව මම දනිමි. ඔවුන් නිවාස වෙත සමීප වෙමින් සිටි ම දුටුවේ නිරුවත් සාධුවරුන් දෙදෙනා දරුණු ලෙස පොරබදමින් සිටින බව ය.

    "මේ මොකද?" යි අසමින් මම ඊට මැදිහත් වීමි. දෙපසකට වෙමින් එක අයෙකු මෙසේ පැවසීය.

    "එයා මගේ පිදුරු උඩ ඇවිද්දා, එයා හිතන් ඉන්නේ එයා ලෝකේ ඉන්න ලොකුම අභිනිශ්ක්‍රමනික ය කියලයි"

    මේ අත්දැකීම මගේ ජීවිතය පසු බෑමකට ලක් කල අතර මම  අභිනිශ්ක්‍රමණ මාර්ගය විශ්ලේෂණයක යෙදුණෙමි.

==========
ඉහත සඳහන් අය වගේම විශ්මිත යෝගීන් හා ඍෂිවරුන්ගේ ජීවන ප්‍රවුර්ත්ති රැසක් මේ පොතේ අඩංගුයි.

පොත සරසවි පොත් හලෙන් මිලදී ගත හැකියි.

Friday, February 10, 2017

රණවිරු උන්මාදය සහ ගුණමකු කම


               වරක් මා එංගලන්තයේ රැකියාවේ යෙදී සිටින විට යම් දිනයක එරට රණ විරුවන් සිහි කරනු වස් විනාඩි කීපයක නිශ්ශබ්දතතාවයක් පවත්වන්නට යෙදුනා. මේ ගැන කෙටි හැඳින්වීමක් කල කාර්යාල සේවකයෙකු නැගී සිට නිශ්ශබ්දතාවය ආරම්භ  කිරීමෙන් පසු මා ඇතුළුව අන් අයත් මෙයට සහභාගී උනා. තිස් වසරක උද්ධයෙන් බැට කා ඇති ලංකාව සහ එයින් අප මුදවනු සඳහා අපමණ වෙහෙසක් ගත් රණ විරුවන් ගැන යම් හැගීමක් ඇති අයෙක් හැටියට මෙහි අමුත්තක් මට දැනුනේ නැහැ. එරට ජනතාව විසින් කල යුතු දෙයක් හැටියටයි මට මේ දේ දැනුනේ.

                මේ අතර ඊයේ මුහුණු පොතේ ලාංකිකයෙකු විසින් පල කරන්නට ලැබුණු පොස්ට් එකකින් කියවුනේ නාවික රණවිරුවන්ගේ තිරිසන් පැහැරගැනීම් හා කප්පම් ගැනයි, මෙය රණවිරු උන්මාදයෙන් පෙලෙන්නන් විසින් නොකියවිය යුතු බවත් ඔහු පවසා සිටියා. පහතින් ඔහු උපුටා ගත් ලිපිය දක්වා ඇති.

              http://ravaya.lk/?p=159323

               මේ වක්‍රාකාරයෙන් රණවිරුවන්ට පහර ගැසීමක් සහ ඔවුන් අගයන්නන් නිග්ග්‍රහයට ලක් කිරීමක්. නාවික බටයෙකු කල හෝ කරන වැරද්දක් නාවික "රණවිරුවකු" කරන්නක් බවත් රණවිරුවන් අගයන්නන්, එයටම මුවා වී වැරදි කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීමෙන් ඔවුන් රණවිරු උන්මාදයෙන් පෙලෙන්නන් බවටත් ලියුම් කරු විසින් පූර්ව විනිශ්චයකට පැමිණ ඇති සෙයකි. එසේ නොවීනම් හිත මතාම රණවිරුවන්ට පහර ගැසීමට කරන උත්සාහයකි. එසේත් නැත්නම් තමන් අන් අයට වඩා වෙනස් බව පෙන්වීම සඳහා කරන බොළඳ උත්සාහයකි.

               ඔස්ට්‍රලියවේද රණවිරුවන් සැමරීමක් සිදු කෙරේ, ඉහත සඳහන් කල අන්දමේ නිශ්ශබ්දතාවයක් ඔස්ට්‍රලියවේදී සිදු කරන අතරතුර එසේ සිදු කරන්නන් රණවිරු උම්මත්තකයින් බව මෙම ලියුං කරු ඔවුන්ට පවසාවිද? බොහෝ විට සිදු විය හැක්කේ කීකරුව තමනුත් එම නිශ්ශබ්දතවයට සම්මබන්ද වීමයි. ඉන් පසු සිංහලයන් ඉදිරියේ සිංහ වෙස් ගෙන රණවිරුවන්ට කෘතඤ පූර්වකව කටුයුතු කිරීමේ පසුගාමී බව ගැන බණ දේශනා කරයි. 

               මේ අන් කිසිවක් නොව ගුණ මකු බවයි. තුවක්කුවක් අතට දී උඹේ ආරක්ෂාව උඹම බලාගනින් කියා උතුරට යව්වානම් කලිසමේ සුළු දිය යන්නන් වෙනුවෙන් නිර්භීතව තම ජීවිතය නොතකා සටන් කළවුන් උදෙසා යමක් කිරීම රණවිරු උන්මාදයද? ඔස්ට්‍රලියානු බටයෝ 1915 ගැලොපිලි ගොස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් සටන් වැදීම අදටත් ඔවුන් සමරයි, ශ්‍රී ලාංකිකයින්?

               හමුදාවෙන් පැන විත් මැර කම් කරන "ආමි සම්පත්ලා" ගැන කොතෙකුත් ලිපි ලියවී ඇතත් ඔවුන්ගේ පරමාර්ථය වූයේ රණවිරුවන්ට පහර ගැසීම නොවන නිසා "ආමි රණවිරු සම්පත්" යයි නොලීමට ඔවුන් වග බලා ගත්තා, රණවිරු උන්මාදයෙන් පෙලෙන්නන් විසින් නොකියවිය යුතු බවට ඔවුන් පාරම් බෑමක් කලා මතකත් නැහැ. එවන් සමාජයට වැඩදායි විවේචන සහ වාර්තා වලට කිසුදු විරොදයක් නැති බවත් කිව යුතුයි.

අපි ගුණමකුවන් නොවීමට වග බල ගනිමු.

Wednesday, December 21, 2016

දැන් වස් කීයද?

වස් අහන්නේ හාමුදුරුවොනේ, ගිහියොත් වස් අහනවද? ඔස්ට්‍රේලියාවේදී එහෙම ගිහියොත් මට මුණ ගැසුණා.

ධර්මයට අනුව යමෙක් උසස් වන්නේ සීලයෙනි. සාමාන්‍යයෙන් භික්‍ෂුවක් තවත් භික්‍ෂුවක් මුණ ගැසුණු විට විමසනු ලබන ප්‍රශ්නය වන්නේ “දැන් වස් කීයද?” යන ප්‍රශ්නයයි. එමගින් අදහස් වන්නේ වැඩිමහල්ලා කවුදැයි සොයාගෙන ගරුසරු දැක්වීමයි. වස් ප්‍රමාණය අඩු භික්‍ෂුව පැවිද්දෙන් බාලය.

දැන් එතකොට ගිහියෝ කොහොමද වස් අහන්නේ?

ඔස්ට්‍රේලියාවේදී මුණ ගැහුන සමහර අයත් කුමක් හෝ පරමාර්ථයක් පෙරදැරි කරගෙන මේ වගේ මැන ගැනීමක් කර ගන්න හදනවා. නමුත් මේක එක ප්‍රශ්නයකින් විසඳා ගන්න පුළුවන් එකක් නොවේ, මේ නිසා ප්‍රශ්න වැලක් අහ්හන වෙනවා. මට සහ මගේ මිතුරන්ට ලැබුණු ප්‍රශ්න පත්‍ර වලින් උපුටා ගන්නා ලද ප්‍රශ්න කීපයක් මේ.

  1. දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල කොච්චර කල් වෙනවද?
  2. Student ද, PR ද?
  3. PR නම් student ඇවිල්ලද PR උනේ?
  4. මොන suburb එකේද ඉන්නේ?
  5. රස්සාව මොකක්ද?
  6. ලංකාවේ කොහෙද?
  7. ලංකාවේ කොළඹ නම්, අම්මයි තාත්තයිත් කොළඹද?
  8. ලංකාවේ ඉස්කෝලේ මොකක්ද?
  9. වාසගම මොකක්ද?
  10. රෙන්ට් එකටද ඉන්නේ ගෙයක් ගත්තද?
  11. Apartment එකක්ද ගෙයක්ද?

මේ ආකාරයෙන් එකී නොකී ප්‍රශ්න වැලකට උත්තර දෙන්න වෙනවා. මේවා අමුතු ප්‍රශ්න වෙන්නේ, අලුතෙන්ම හම්බ උණු ගමන් අහන නිසාත්, ලැබෙන පිලුතුරු අනුව ඉදිරිය තීරණය වන නිසාත්. දැන හැඳින ගෙන යම් කාලයකට පස්සේ මේ කරුණු ගැන කතා කිරීමේ අමුත්තක් මා දකින්නේ නැහැ.

ලංකාවේ ගමකට පිට ගම් කාරයෙක් පැමිණියහොත්, ඔහුගෙන් වත ගොත විමසීමේ සිරිතක් තිබ්බ, මේ එකෙම දිගුවක් කියල කියන්නත් පුළුවන්. නමුත් එතැනදී එහෙම කලේ සාමුහිකත්වය මත පදනම් වෙලා, ගමේම ආරක්ෂාව වෙනුවෙන් වෙන්න පුළුවන්. මේ හතරවන තට්ටුවේ ශෛලියේ ප්‍රශ්න කීරිමනම් එහෙම වෙන්න බැහැ. 

මගේ මිත්‍රයෙක් පන්සල් ගිය වෙලාවක මෙහෙම ප්‍රශ්න කිරීමකට ලක් උනා, ප්‍රශ්න වලින් අපහසුතාවයට පත් වෙලා හිටපු ඔහුට කෝපය ඉහ වහා ගියේ රස්සාව මොකක්ද කියල ඇහුවම, ගත් කටටම "Cleaning" කියල මිත්‍රය කිව්වලු. ප්‍රශ්න කිරීම එතනින් නතර වෙලා. මිත්‍රය process engineer කෙනෙක් හැටියට, soil washing වලට සම්බන්ද කොම්පැනියක වැඩ කරන නිසා, බොරුවක් කියලත් නැහැ, පන්සලේනේ හිටියේ.

මේ බ්ලොග් අයිටම් එක ගැන කිව්වම මගේ කන්තොරුවේම වැඩ කරන මිත්‍රයෙක් තව කතාවක් කිව්වා. ඔහු Quakers Hill කියන ප්‍රදේශයෙන් (suburb) ගෙයක් ගත්තලු, මේක ගැන මිත්‍රයෙක් සමග කතා වෙනකොට, ඒ මිත්‍රයාගේ සගයෙක් (මගේ මිත්‍රය දන්නේ නැති) මේ කතාවට සම්බන්ද වෙලා එක පාරටම අහල තියනවා රේල් පාරෙන් එහාද මෙහාද කියල. මේ අණ්ඩර දෙමළය තේරුනේ නැති මිත්‍රය කල්පනා කෙරුවලු මොන පැත්තේ ඉඳන් බැලුවමද එහා මෙහා වෙන්නේ කියල. පස්සේ බැලුවම මේ suburb එකේ රේල් පාරෙන් එහා එච්චර හොඳ පැත්තක් විදිහට ගණන් ගන්නේ නැහැලු. ඔහුට දැන ගන්න ඕන වෙලා තියෙන්නේ ඉන්නේ හොඳ පැත්තේද නරක පැත්තේද කියල. වෙලාවට හොඳ පැත්තේ හිටපු නිසා, දිගටම ආශ්‍රය කරන්න තීරණය කරලා.

හැමෝම මෙහෙම නැති බවත් කියන්න ඕනේ. නිරීක්ෂණ පමණයි, නිගමනය ඔබට බාරයි. මෙහෙම අත්දැකීමක් තියෙනවනම් දැනුම් දෙන්න.

Sunday, December 11, 2016

චැරිටි මානසිකත්වය


ලංකාවේ ටිකක් ඇදිල ගිය කෙනෙක් දැක්කහම අහන කතාවක් තමා, ඉතියෝපියාවේ ඉඳලද අවේ කියල. මේකෙන් ඉතියෝපියාව කියන රට ගැන කාගෙත් සිතේ ඇඳිලා තියෙන චිත්‍රය ගැන දල අදසසක් ගන්න පුළුවන්. නමුත් මේක ඇත්තද? ඉතියෝපියාවෙ යම් කරදර කාලයක් තිබුණු බව ඇත්ත උනත් (සිවිල් යුද්දය නිසා), එය ඉතාම සුන්දර රටක් බව, රට ගැන තොරතුරු සොයා බැලීමේදී පෙනී යනවා. ඉතියෝපියාව ලොව ප්‍රදානතම මල් සහ පැළෑටි අපනයන කරන රටක් බව කීවොත් ඔබ විශ්වාස කරාවිද?

ඉතියෝපියාව ගැන මේ කතාව කිව්වේ රටවල් වල ළමයි හදන ලංකාවේ දෙමව්පියන්ට අදාල කතාවක් කියන්න.

දැන් ඉන්න රටට සාපේක්ෂව ලංකාව දෙස බැලීමට හැකියාවක් ඇති දෙමව්පියන් (රටවල් දෙකෙහිම අත්දැකීම් ඇති බැවින්) නිතැතින්ම තම දරුවන්ට ලැබෙන සෙල්ලන් බඩු ආදිය දිහා බලලා ලංකාවේ ජීවත් වන දරුවන් ගැන යම් කරුණාවක්/අනුකම්පාවක් ඇති කර ගන්නවා මේ හේතුවෙන් තමන්ගේ ළමුන්ට ලැබෙන සෙල්ලන් බඩු වලින් යම් ප්‍රමාණයක් ලංකාවේ ළමයින්ට වෙන් කර ගන්නවා. මේ සත් කාරයට තම ළමුන් දායක කර ගැනීමට දෙමව්පියන් උත්සහ කරනවා. අඩු පාඩු වලින් ගහන ලංකාවේ ඉන්න ළමයි පිළිබඳ හොඳ අවබෝදයක් මේ ළමයින්ට අම්මලා තාත්තල හරහා ලැබෙනවා. සමහර ලංකාවේ ළමයින්ට කිසිම සෙල්ලම් බඩුවක් නැති බවත්, ඔවුන්ගේ දෙමව්පියන්ට සෙල්ලම් බඩු අරන් දීමට වත්කමක් නැති බවත් මේ ළමයින්ට තෙරුන් කර දීමට දෙමව්පියන් උත්සහ කරන්නේ ළමයිනුත් මේ සත් ක්‍රියාව සඳහා පොළඹවා ගැනීමටයි. සමහර දෙමව්පියන් ලංකාවේ ළමයින්ට සෙල්ලං බඩු අරන් දීමට කැටයක් එකතු කරන වෙලාවලුත් දකින්න පුළුවන්.

බැලූ බැල්මට මේක ඉතා අගනා, අප විසින් කල යුතු, අප විසින් අපේ දරුවන්ට ඉගැන්විය යුතු දෙයක් වගේ පෙන්නේ.

නමුත් මේ හරහා අපි දරුවාගේ මනසේ ඉතා සියුම් විදිහට ගොඩ නගන ලංකාව මොන වගේ එකක්ද? අඩු පාඩු වලින් ගහන දුප්පත් රටක් නේද? තමන් සහ විශේෂයෙන් තම දෙමව්පියන් පැවත එන ලංකාව තමාගේ අනුකම්පාව බලාපොරත්තු වන බව මේ ළමයින්ගේ හිතේ ඇඳෙනවා. මේ හරහා ලංකාවේ මිනිස්සු ගැන උනත් දරුවට ලැබෙන්නේ යම් පහත තත්වයක්. මේක අපි බලාපොරොත්තු උන තත්වයක්ද?

මේ මානසිකත්වයත් එක්ක ලොකු මහත් වන දරුවන් ලංකාවේ දේවල් කොපමණ අගය කරාවිද? දෙමව්පියන්, ඔවුන්ගේ නෑදෑයෝ, භාෂාව, සංගීතය, සංස්කෘතිය, ආගම ගැන මොන වගේ හැංගීමක් මේ අයගේ හිතේ තියෙනව ඇද්ද? ඒක තෙරුන් ගන්න නැවත මේ පොස්ට් එකේ පළමු පරිච්චේදය කියයවන මෙන් ඉල්ලා සිටිමි.

ලෙබනනයෙන් ඔස්ට්‍රලියාවට සංක්‍රමණය වුනු දෙවැනි පරම්පරාවේ ඔස්ට්‍රලියාවේ ඉපදුනු කෙනෙක් සමග කතාවට වැටුණු වෙලාවක, මම ඔහුගෙන් ඔහු පැවත එන රට පිලිබඳ ඔහුගෙන් විමසා සිටිය, ඔහු ලෙබනනය ඉතාම සශ්‍රීක රටක් බවත්, ලස්සන කඳු පන්ති ඇති බවත් කියා සිටියා, ඉන් නොනැවතුණු ඔහු google maps හරහා එහි ඇති ලස්සන තැන් ගැනත්, ගෘහ නිර්මාණ ශිල්පය ගැනත් මට පෙන්වා දුන්න. ලංකාවේ ළමයෙකුගෙන් මෙවන් පිළිතුරක් බලාපොරුත්තු විය හැකිද?

මෙයින් කියවෙන්නේ ලංකාවට උදව් නොකළ යුතු බව නොවේ, තමන් කරන කියන කටයුතු හරහා දරුවාගේ හිතේ ගොඩ නගන ලංකාව ගැන පරිස්සන් විය යුතු බවයි. නැතිනම් ලොකු මහත් වූ ළමයින් ඔබ සමගම ගනු දෙනු කිරීමේදී ඔබටම එය පාරාවළල්ලක් වේවි.

අපේ මාතෘ භූමිය අපේ ළමයින්ගෙන් බලාපොරුත්තු වන්නේ අනුකම්පාව නොව ආදරයයි.

Wednesday, November 30, 2016

ළමුන් ජීවිතය කර ගැනීම


"ළමුන් ජීවිතය කර ගැනීම", මේ ටයිටල් එක දැක්කහම ඇයි එහෙම නේමේද කියල තමන්ගෙන්ම අහයි, කියවල බලන්න.

අද සමාජය දෙස බලන විට පෙනී යන දෙයක් තමයි මේ ළමුන් තමන්ගේ එකම 'ජොබ්' එක කර ගත් දෙමව්පියන් පිරිසක් දකින්න ලැබෙන බව. ඔවුන්ගේ අතීතය, වර්තමානය සහ අනාගතය යන තුනම ළමුන් මතම පවතින බව පෙනෙන්නට තිබේ.
අවදි වූ මොහෙතේ පටන් ළමුන්ට කවා ගැනීම, නාවා ගැනීම, පාසල් යැවීම, ගෙදර වැඩ කරවීම, 'ස්පෝර්ට්ස්' වලට ඇදගෙන යාම, මියුසික් වලට ගෙන යාම, පියානෝ පන්ති රැගෙන යාම, ස්විමින් එක්කගෙන යාම, අමතර පන්ති, ඩාන්ස්, දහම් පාසල්, කරාටේ, එලකුෂන්, සිංහල (වෙන රටක නම්) වැනි එකී නොකී සියලුම වැඩ ළමුන් ලවා කරවයි. මේවා කිරීම මගින් තමන් උසස් දෙමව්පියන් වන බව මොවුන්ගේ පිළිගැනීම වන අතර, මෙහෙම නොකරන දෙමව්පියන් තම වගකීම ඉටු නොකරන්නන් ලෙස බැලීමට පුරුදුව සිටී.

මීට අමතරව මොවුන් තමන්ගේ ළමයින්ට සියලු දේ සහ අනර්ග දේ(පමණක්) දීමට පෙළඹේ. මෙයින් වැඩියෙන්ම වාසි ලබන්නෝ කොම්පැනි කාරයින්ය. මේ දෙමව්පියන් තමන්ගේ හොඳ මාර්කට් එකක් කර ගැනීමට මේ කොම්පැනි කාරයන් දනී. බටහිර රටක ළමයෙක් හැදීමේ සම්පූරණ වියදම රුපියල් මිලියන 15 සිට 45 දක්වා වෙතැයි ගණන් බල තිබේ. හැම එකකටම මිලක් දෙන බටහිර රට වල මේ මනිනිනේ තමාගේ බඩු කොහොම විකුණා ගන්න පුළුවන්දැයි දැන ගැනීම පිණිසයි. මේ දෙමව්පියන් ළමයා වෙනුවෙන් වියදම් කරන්නට පෙළඹෙන ගණන මිස ළමයාගේ මිල නොවන බව මතක තබා ගත යුතුයි. තම ළමයි විශේෂ ළමයි ලෙස සිතන සහ එසේ හදන්නට උත්සහ කරන දෙමව්පියන් මේ මාර්කට් එකට විශේෂයෙන් අසු වේ. මේ බව දන්නා කොම්පැනි  කාරයින්ද ළමයින්ට උසස් දේම දීම ගැන අපට බණ දේශනා කරයි. ධනවාදය මූලික කරගත් පරිබෝජන රටාවකට පුරුදු වී ඇති අප තවත් එවැනිම එකෙකු බිහි කරනු දැකීම ඔවුන්ගේ පරම පැතුමයි. ළමයින්ට අප දායාද කරන්නේ මේ පරිබෝජන රටවෙන්ම විනාශ වූ පරිසරයක් බව අපට අමතක වේ.

උදාහරණයක් විදිහට මේ 'ස්පෝර්ට්ස්' වලට ඇදගෙන යාම ගත්තොත්, ක්‍රීඩා කරවීම දෙමව්පියන්ගේ වගකීමක් බවට පරිවර්තනය වී ඇත. තමන් කැමති දෙයක් ඇඳගෙන තමන් කැමති අයත් එක්ක තමන්ගේම නීති වලට ක්‍රීඩා කරනු වෙනුවට, එයටම අදාල වන ඇඳුම්, පාවහන්, බෑග්, පිට්ටනි, පුහුණු කරුවන්, කෑම, ශක්ති ජනක ආහාර යන සියල්ල රැගෙන දෙමව්පියන්ට ළමයින්ව කනෙන් ඇදගෙන යාමට සිදු වී ඇත. ක්‍රීඩාවෙන් උපරිමයට සතුටු වනු වෙනුවට දරුන්ටත්, දෙමව්පියන්ටත් මෙය වදයක් වී ඇත. ස්පෝර්ට්ස් එකට අදාල ඇඳුම නැතිව එයට සහබාගී වීමට මැලිවන දරුවන් අනාගත හොඳ පරිබෝගිකයින් වීමට මග බල සිටී.

ළමයින් වෙනුවෙන්මයි කියමින් මේ කරන දේ, ළමයින් වෙනුවෙන්මද? එක අතකින්  කොම්පැනි කාරයන්ට අසු වී සිටින දෙමව්පියන් අනිත් පසින් තම සිහිනය දරුවන් තුලින් දකිමින් සිටී. බුදුන් වදාල පරිදි සදිසාවෙන් එක් දිශාවක් පමණක් දරුවන් බව මතක තබා ගත යුතුයි. ළමයින්ට තම යුතුකම් ඉටු කරන අතරම එයින් මත් (obsessed) නොවන්නටත් වග බලා ගත යුතුයි.